Friday, April 3, 2020

කොරෝනා සිතුවිලි

“මට මගේ නොවන - මගේම ආදරයක් තිබුණා”
ප්‍රසිද්ධ සින්දුවක්. ලස්සන චිත්‍රපටයක්. 
අපි හැමෝටම වගේ මගේ නොවන ආදර කතා එමට තිබිලා ඇති. ආදරය කියන්නේ අයිති කර ගැනීම ම නෙමෙයි.
අතඇරලා දාන එකත් නෙමෙයි.
මගේ නොවන මගේම ආදර කතා ඉස්සරහ ආදරේ කියන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බැරි වෙන තරමට
අපි අසරණ වෙනවා. 
සමහර වෙලාවට මගේ නොවන මගේ ආදරේ මගේම කර ගන්න බැරිවෙන තරමට අපි ලෝභ වෙනවා.
මොකද දෙන්නෙක් ආදරේ කරන්න ගත්තම පිටින් පේන පැණිරහ වෙනුවට ඇතුලේ තියන
ඇඹුල් රහ දැනෙන්න ගන්නවා.
ඒත් මේ තිත්ත ජීවිතේ ටිකක් හරි පැණිරහ කරල දෙන්නේ මේ මගේ නොවන මගේ ආදරේ. 
ඉතින්, හැමෝටම මගේ නොවන මගේ ම ආදරයක් තිබිලා තියෙන්නෙ පුළුවන්.
ඒ ආදරේ ටික කලක් තමන්ගේ වෙලා දැන් වෙන කෙනෙක්ගේ වෙලා තියෙන්න පුළුවන්.
සමහරවිට මේ ලෝකෙ නැති වෙන්න පුළුවන්. ඔයාව දාලා ගිහින් වෙන්න පුළුවන්.
ඒ කතා ඔක්කොම කතා අස්සේ මේ මගේ කතාව. 
කවදාවත් ඇස් දෙකෙන් නොදැකපු, ඒත් හදවතින්ම ආදරේ කරපු මගේ නොවන මගේ ආදර කතාව. 


එයාව හම්බෙන්නේ 2014 දි. ෆේස්බුක් එකේ මට ආපු රික්වෙස්ට් එකක්. ලස්සන කොල්ලෙක්.
අහිංසක හිනාවක්.
ඒත් එක්කම කොහෙදිහරි දැකල පුරුදු බවක්.
පැනපු ගමන් ඇක්සෙප්ට් කරලා මම බලන් හිටියේ චැට් කරන්න එනකල්. 
නැහැ. 
එයා එහෙම කෙනෙක් නෙමේ.
එහෙම කෙනෙක් නෙමේ කියන්නේ, කෙල්ලෙක් රික්වෙස්ට් එකක් ඇක්සෙප්ට් කරපු ගමන්
චැට් එකට එන කොල්ලෙක් නෙමේ.
මාත් පැනගෙන කතාවට යන කෙනෙක් නෙමෙයි.
හයි ස්ටෑන්ඩර්ඩ්ස්. එයාම කතාව පටන් ගන්නකල් කොච්චර කල් බලන් හිටියද කියන්න මට මතක් නෑ.
ඒත් හුඟක් කල් මම බලන් හිටියා. 
එක දවසක් එයා චැට් එකට ආවා.
ආගිය තොරතුරු කතා කරා.
පැණියෙක් නෙමෙයි. චුට්ට වෙලාවකින් චැට් එක ඉවර වුණා. ඒ කතා කරපු ටික වෙලාව මට මාස ගාණකට ඇති වුණා. 
මම හිටියේ අමුතුම ලෝකෙක. මගේ යාලුවෝ හැමෝටම “මේ මගේ ක්‍රශ් එක” කියලා මම එයාව පෙන්නුවා.
ඇස් දෙකෙන් දැකලාවත් නැතුව මම එයාට ආදරේ කරන්න ගත්තා. ඒ කාලෙ මට අවුරුදු 20ක් විතර.
කොල්ලෙක් ඉදලත් නෑ.
ආදරේ කියන්නේ මොකද්ද කියලවත් නොදැන විනාඩි ගාණකට නිකන් චැට් කරපු මනුස්සයෙක්ට
මම ආදරේ කරන්න ගත්තා.
ඔහොම ඔහොම කල් යද්දි හැමදාම වගේ චුට්ට චුට්ට අපි චැට් කරා.
ඒත් කවමදාවත් ෆෝන් නම්බර් එකක් වත් අපි හුවමාරු කරගත්තේ නෑ.
කෙටියෙන් කියනවානම් දෙන්නගෙම හෙණ අලි ඔළුව. 


2015 දි නිකම්ම අපි කතා කරන එක නැවතුනා.
එයාට කතා කරන්න කොහොමත්ම ඕනකමක් තියෙන්න නැතුව ඇති.
මගෙත් අලි ඔළුව හින්දා මම කතා කරන්න ගියෙත් නෑ.
ඒත් එයාගෙ ෆොටෝ බල බල, ඒවගෙ කට්ටිය දාන කමෙන්ට් බල බල මම හූල්ල හූල්ල හිටියා. 
මට තාමත් හිතාගන්න බැරි දෙයක් තමයි ඇයි මම එයා ඉස්සරහ දෙකට නැමුනේ නැත්තේ කියලා.
මම එයාට පණ වගේ ආදරේ කරාට මට එයා මගේ විතරයි, එයා මගේ වෙන්න ඕන කියලා හැඟීමක්
ඇයි මට ආවෙ නැත්තෙ කියලා මට අදටත් ප්‍රශ්නයක්. 


2015 අග දි මගේ පළවෙනි ආදරේ හම්බෙනවා. 2016, 2017 එයාටම වෙන්වෙනවා.
මගේ නොවන මගේ ආදරේ මට අමතක වෙනවා.
2018 දි පළවෙනි ආදරේට මම තිත තියනවා.
දහසකුත් නොගෑළපීම් අස්සේ ගලන් ගියපු අපේ ආදරේ මැදට එයා කෙනෙක් ගෙනත් අතඇරලා.
මගේ ලෝකේ කඩාගෙන වැටෙනවා. මම අසරණ වෙනවා. ඒත් මම නැගිටිනවා. 
2018 කියන්නේ මම කවුද කියන එක මට හරියටම තේරුම් ගියපු අවුරුද්ද. 

ඒත් එක්කම මගේ නොවන මගේ ආදරේ ආයෙත් මාත් එක්ක කතා කරන්න ගන්නවා.
මාත් එක්ක කතා නොකෙරුවට එයා මගේ විස්තර දැනන් ඉඳලා තියනවා.
මම බ්‍රේකප් උනා කියලා එයා දැනන් ඉදලා තියනවා.
මම එයාට ඉස්සර කැමැත්තෙන් හිටියා කියලා එයා දැනන් ඉඳලා තියනවා.
අපි ෆෝන් නම්බර්ස් මාරු කරගන්නවා. පැය ගණන් වට්ස්සැප් කෝල් ගන්නවා. 
ඒ මම සතුටින්ම හිටිය දවස්. එයා එතකොට හිටියේ පිටරට.
ලංකාවට වඩා පැය එක හමාරක් එහා. ලංකාවට රෑ 12 වෙද්දි එයාට පාන්දර 1:30.
දැන් ඔයාට මේ වෙලාව නේද කියලා මං අහද්දි එයා අහනවා ඔයා කොහොමද දන්නේ කියලා.

මම හිනාවුනා විතරයි.
එයා දැනන් හිටියේ නෑ මගේ ෆෝන් එකේ ඩුවල් ක්ලොක් එකෙන් මම එයාගෙ වෙලාවත් දාන් හිටියා කියලා.

මම එයාට ආදරේ කරා. කවදාවත් දැකලා නැති එයා ෆෝන් එකෙන් හිනා වෙනවා ඇහෙද්දි එයා මගේ
ඉස්සරහ හිනා වෙනවා දකින්න මට ඕන උනා.
එයා මොනාහරි කියලා හිනා වෙද්දි මගෙ ඇස් වලට කදුලු ආවා. සතුටු කදුලු.
මේ ලෝකේ සතුටින්ම හිටියේ මම. ඒත් මගෙයි එයාගෙයි දෙන්නගෙම අලි ඔළුව හින්දා හැමදාම කතා කරන්න
බැරි උනා.
එයා ඔන්ලයින් ඉන්නවා දැක දැක මට එයාට කතා කරගන්න බැරුව මැරි මැරී ඉපදුනා. 


2018 මාර්තු මාසෙ දවසක එයා එකපාරටම මට කෝල් එකක් ගත්තා.
එයා ගැන ෆීලීන්ග්ස් නැද්ද ඇහුවා. එයාගේ කටහඩ හරිම ඩෙස්පරේට්.
මගේ හිත එකපාරම ගැස්සුනා. මම හිටියේ ගෙදර.
ඒහෙම දෙයක් කතා කරගන්න පුළුවන් වටපිටාවක නෙමෙයි.
මම ඉක්මනට කෝල් එක කට් කරා. මම බය වෙලා හිටියේ.
මම එයාට ආදරෙයි. ඒත් මට එයාව ඕනෙ කියලා හැඟීමක් තිබ්බේ නෑ.
ඒත් එක්කම මෙච්චර අලි ඔළුවක් තියන මනුස්සයට මොකද එක පාරටම උනේ කියලා මට හිතා ගන්න බැරි උනා.
මේකා මේ මාව ජෝක් එකටද ගන්නේ කියලා හිතුනා. ඇයි මට මෙහෙම කරන්නේ කියලා හිතුනා.
එක විනාඩියට මට කීයක් දේවල් හිතුනද කියලා මටම හිතා ගන්න අමාරුයි.
ඒත් ඊටපස්සේ එදා මම එයාට කිව්ව දේවල් වලින් ඒ හැමදේම විනාස වෙයි කියලා දැනන් හිටියා නම්
මට තව ඉවසන්න තිබ්බා.
”අපි දෙන්නා ගැලපෙන්නේ නෑ,මාව ජෝක් එකකට ගන්න එපා” මම කිව්වේ එහෙම.
“හා හරි අපි මේ ගැන පස්සේ වෙලාවක කතා කරමු” කියලා එයා කතාව ඉවර කරා.
ඊළග දවසේ මෙයා මැසේජ් එකක් දාලා තිබ්බා “මම ඊයේ බීලා හිටියේ, ඒ කතා කරපු දේවල් අමතක කරල දාන්න”.
මට මතක නෑ මම කිව්වෙ මොනවද කියලා. මම ඇඬුවද කියලත් මට මතක නෑ.
එදායින් පස්සේ ආයෙත් අපේ සම්බන්ධය ෆේස්බුක් එකේ ලයික් එකකට, ඉන්ස්ටා එකේ ෆේව් එකකට සීමා උනා.
හදිසි කලබැගෑනියක් මැද ඇරෙන්න අපි ආයෙ කතා කරේ නෑ.
මම එයාගේ නම්බර් එක ඩිලීට් කරා.
ඉස්සර පාලු හිතුනම කියවන්න තියන් හිටපු අපේ චැට් හිස්ට්‍රි ඩිලීට් කරා.
මම ඩවුන්ලෝඩ් කරන් හිටපු එයාගෙ ෆොටෝස් ඩිලීට් කරා. හැමදේම අයින් කරා.
ඒත් ඒ ආදරේ අයින් කරලා දාන්න මට බැරි උනා. 


දැන් 2020. තාමත් එයා පිටරට.
කොරෝනා හින්දා එයාට කරදරයක් ද කියලා බලන්න මම මැසෙන්ජර් එකෙන් මැසේජ් එකක් දැම්මා.
එයාට අවුලක් නැල්ලු. 


මට පණ වගේ ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා.
එයා නැතුව මට බෑ. එයා නැතුව මට පාලු හිතෙනවා.
එයා මගේ. එයාව වෙන කෙනෙක් ට දෙන්න මට බෑ.
එයා මගේ ආදරේ. මගේම මගේ ආදරේ.
එයත් මෙයා ගැන දන්නවා.
හොඳ තේරුම් ගැනීමේ ශක්තියක් තියෙන කෙනෙක් මට හම්බුන එක ගැන මම සතුටු වෙනවා.
මගේ අලි ඔළුව හින්දා ඇතිවෙන හැම ප්‍රශ්නයක්ම විසඳන්න එයාට පුළුවන්.
මගේ ඇටිටියුඩ් එකට නියමෙටම ගැලපෙන මනුස්සයෙක්. කවදාවත් එයාව නැති කරගන්න මට බෑ. 

ඒත් මගේ නොවන ආදරේ වෙන කෙනෙක් ගාවට ගියා කියලා මට දුක නෑ.
එයා සතුටින් ඉන්නයි මට ඕනෙ.
සමහරවිට මට හිතෙනවා මම චුට්ටක් හරි නම්‍යශීලී උනා නම් මේ දේවල් වෙනස් වෙන්න තිබ්බා කියලා.
ඒත් උපතින්ම පණ්ඩිතකම ඔළුවෙ තියන් ආපු මට එයාගේ පණ්ඩිතකම දරා ගන්න බැරි උනා.
එයත් මම වගේම මුරණ්ඩු උනා. සමහරවිට මේ හැමදේම බොරුවක් වෙන්නත් පුළුවන්.
ඒත් මගේ හිත වෙනස් වෙන්නේ නෑ. මට ඕනේ ලෝකේ කොහේ හිටියත් එයා සතුටින් ඉන්නවා දකින්න.
මට දෙන්න බැරි සතුට වෙන කෙනෙක් දෙනවා බලන්න. මම දන්නවා එයත් ඒක දන්නවා කියලා.
එයා කතා නොකරත් එයා හිනා වෙලා දාන ෆොටෝ එකකින් මට හිත හදා ගන්න පුළුවන්.

ඉතින් ඒ ඇති මට.

කොරෝනා සිතුවිලි

“මට මගේ නොවන - මගේම ආදරයක් තිබුණා” ප්‍රසිද්ධ සින්දුවක්. ලස්සන චිත්‍රපටයක්.  අපි හැමෝටම වගේ මගේ නොවන ආදර කතා එමට තිබිලා ඇති. ආදරය කියන්න...